”මම හරිම සතුටෙන් අද අමෙරිකාවේ ජීවත්වෙනවා…” – හුරතල් බෝනික්කියක් එක්ක අමෙරිකාවේ ජීවිතේ ගෙවන අනර්කලී |
‘අනර්කලී ආකර්ෂා’ නම කියූ සැනින් ඔබට ඇයගේ රුව සේ ම, ඈ පෙනී සිටි නිර්මාණ මතකයට නැඟෙනවා ඇති.
දැන් ඇයව තිරයෙන් හමුනොවනවා වුණත්, සමාජ මාධ්‍ය තුළින් නම් නිතර ඇයව දැකගන්න ලැබෙනවා.
ඒ තනියම නම් නෙවෙයි. හුරතල් බෝනික්කියක් එක්ක.
ඈ තමයි අනර්කලීගේ පුංචි ලෝකෙ.
අනර්කලී සිය ආදරණීය පවුල එක්ක දිවි ගෙවන්නෙ, අමෙරිකාවෙ.
ඇයගෙ විවාහ මංගල උත්සවය පැවැත්වුණේත්, අමෙරිකාවෙ.
ඇයගේ අතගත් ඔහු ඩිෂාන් ජයසිංහ. ඩිෂාන්, සුප්‍රකට වෛද්‍ය වෝල්ටර් ජයසිංහගේ පුත්‍රයා.
විවාහ වෙලා අමෙරිකාවේ ගෙවන ජීවිතේ ගැන, ඈ මීට කාලෙකට ඉහත,, ඒ කියන්නෙ විවාහ වූ අලුත සිය පාඨකයින්ට ආදරණීය ලියමනක් තබා තිබුණා.
”සිහින විමානෙක ඉපදී, සිහින ජීවිතයක් මා පැතුවේ නැහැ. මා සැමදා ප්‍රාර්ථනා කළේ ආදර ලෝකයක ජීවත්වන්නයි. සිහින සදාකල් නැහැ. මැකී යනවා. අලුත් වෙනවා. ප්‍රහේලිකාවක් වෙනවා. ආදරය පමණයි පුංචි බබෙකුට වුණත් පැහැදිලි වන්නේ. ආදරය ජීවිතයේ ලොකුම වස්තුවයි. ඒ නිසා අපි සැවොම ඒකාන්තයෙන්ම සොයන්නේ, සදාකාලික ආදරයයි.
මේ ආදරය සොයා යන ගමනේදී අපට වැරදෙන්න පුළුවන්. දුක් වෙන්න පුළුවන්. පරාජය වෙන්න පුළුවන්. නමුත් පසුතැවැන්නේ නැතුව ඒ නියම ආදරය ලැබෙන තුරු ඒ ගමන නතර වෙන්නෙ නෑ. මගේ ආදරය මට හමුවුණා. ඔහු ඩිෂාන්.
මම ඔබේ අනර්කලී. ඔබේ දෑස්වල යෙහෙළියක්, දියණියක්, තාරකාවියක්. වරෙක දේශපාලනවරියක් වුණා. අද මම ඔබට ලියන්නේ මනාලියක් ලෙසයි.
මට මගේ ආදරය හිමි වුණා. තාරකාවියක් ලෙස ආකාසේ රිදී තිරයේ නැතුව අද මම මගේ මංගල ඇඳුමේ බැබළෙනවා.
මගේ ආදරවන්තයා ජීවත්වන්නේ අමෙරිකාවේ. ඒ නිසා මේ මංගල්‍ය අමෙරිකාවේ පැවැත්වෙනවා. ඩිෂාන්ගේත් මගේත් දෙමව්පියන්ගේ පවුල් මිත්‍රකම් අවුරුදු 50ක් තරම් කාලයක සිට පැවත එන්නක්.
අපි දෙන්නා හමුවෙන්නත් කසාද බඳින්නත් දෛවයේ සිදුවීමක් වෙන්න ඇති. මම හරිම සතුටින් අද අමෙරිකාවේ ජීවත් වෙනවා.
ඒත් මම මගේ රට ගැනයි, මගේ රසිකයින් ගැනයි නිතරම සිතනවා. මම බලාපොරොත්තු වෙනවා ඔබ මාව අමතක නොකරයි කියලා. මම ඔබව අමතක කරන්නේ නැහැ…..”
දක්ෂ රංගන ශිල්පිනියක්, නිවේදිකාවක්, නර්තන ශිල්පිනියක්, නිරූපිකාවක් හැටියට මෙරට කලා ක්ෂේත්‍රය තුළ දස්කම් දැක්වූ ඇය මේ වෙද්දි සිය සැමියාත් දියණියත් එක්ක සුන්දර ජීවිතයක් ගෙවනවා.
කලාවට අමතරව දේශපාලනය තුළත් අනර්කලී ආකර්ෂා වඩාත් කතාබහට ලක්වුණා.
ගෙවුණු කාලයේ රූ රැජිනන් ගැන කතාබහේදීත් අනර්කලී ආකර්ෂා ගැන මතකය බොහෝදෙනා අවදි කරලා තිබුණා.
ඒ, 2004 වසරේ ලෝක රූ රැජින තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා රූ රැජින හැටියට.
එවකට ඈට වයස අවුරුදු 17ක්.
අනර්කලී ආකර්ෂාගේ රංගන දිවිය මුලින්ම ආරම්භ වන්නේ 1995 වසරේදී සෝමරත්න මහතා සහ රේණුකා බාලසූරිය මහත්මිය විසින් නිපදවූ, ඉටි පහන් ටෙලි නාට්‍යයත් සමග. ඒ ළමා රංගන ශිල්පිනියක හැටියට.
පසුව ඇයව වඩාත් කතාබහට ලක්වන්නේ, 2003 වසරේදී පිස්සු ට්‍රිබල් චිත්‍රපටයෙන්.
මීට අමතරව ඇය රංගනයෙන් දායක වූ සිනමා නිර්මාණ අතරට එක මලක පෙති, වන් ෂොට් වන්, ධන රින, හිරි පොද වැස්ස, සොඳුරු වසන්තය, අංජලිකා, සිකුරු හතේ, තාරුකා මල්, සර් ලාස්ට් චාන්ස්, කිං හන්තර් සහ It’s a Matter of Love යනාදිය අයත්.
ඇගේ රංගනයෙන් හැඩවුණු ටෙලි නිර්මාණ ලෙස සිහිනයක් පාට පාටින්, අරුණෝදය කලාපය, සාන්තුවරණය, සඳ සාක්කි, රන් තලිය වලව්ව යනාදිය දැක්විය හැකියි.
ළාබාලතම නිළියක ලෙස ඇය ජනප්‍රියම නිලිය ලෙස සම්මානයට ද පාත්‍ර වුණු තාරකාවක්.
මීට අමතරව ගීත රූප රචනා කීපයකටම අනර්කලී සිය රංගන දායකත්වය ලබාදී තිබෙනවා.
භාතිය සංතුෂ්ගේ “මීදුම් සේලෙන්”, දුෂ්‍යන්තගේ “ජේත්තු නෝනේ” සහ යෂාන්ගේ “සිත්තමක් වගේ” ඊට නිදසුන්.
අනර්කලීගේ දේශපාලනය ගැන කතා කළොත්, ඇය 2009 වසරේදී දකුණු පළාත් සභාවට ඡන්දයෙන් තේරී පත්වෙනවා. ඒ, එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින්.
2014 දී පැවැත්වූ දකුණු පළාත් සභා මැතිවරණයට ද ඇය එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ වැදුනත් ඉන් පළාත් සභාව වෙත පිවිසීමට අනර්කලී අපොහොසත් වනවා.
✅✅✅