‘ කෛලාෂ් පුතා ලැබෙන්ට ඉද්දි පුතාගෙ අම්මා කල් තියාම කීවා පුතාට ඒසී කාමරයක් තියෙන්ටෝනි, ඒකෙ තොටිල්ල තියමුය කියලා…’ පුංචි පුතු පැටියා ගැන අප්පච්චි කී කතාව

 


හීන් වැහි පොදයක් එක්ක අලුත් උදෑසනකට අහස ආවඩනවා. මං මයෙ පුංචිම කාලෙට සිහිල් හුළඟක් දිගේ ඇදීල යනවා.

එවකට අපේ මහගෙයි දිරාගිය වහලක් තිබ්බෙ. කුස්සි කෑල්ල ටකරං මඩුවක්. අව්වට මොන තරං කර වුණත් විදුලි පංකා පවා කිසිවක්ම නොතිබ්බ ගෙයි ගිනි රස්නෙට අපි හුරුවෙලා උන්නෙ. ඒ ගිනියම හරී ආදරෙන් අපි පවුලක් විදිහට උණුහුමක් කරගත්තා. වැඩේ දෙල්වෙන්ට ගත්තෙ වහින වෙලාවට. උළුඳු වඩේ ප්‍රමාණෙ ටකරං හිල් අස්සෙන් වැහි ගෙඩි එක පිට එක ගෙට වැටෙද්දි අම්මා පුළු පුළුහන් හැටියට බේසං, බාස්කට් තැන තැන තිය තියා ගෝනි පඩංගු ඇන්නගෙන තෙත මාත්තු කර කරා සංසාරෙ තරං බර වැඩක. සාලෙට වැටෙන වැහි ගෙඩි ‘බෝල වඩේ’ සයිස් නිසා පොත්පත් ටික බෙඩ්ෂීට් පොරෝලා පරිස්සං කරගන්ට පුළුහන් වුණා. පොඩි එකා කාලෙ මං එකේක හැඩේ කඩදාසි බෝට්ටු හද හදා ගෙයි ඇතුළෙ එහා මෙහා පා කරලා ඇති හැටහුටාමාරක්.

දවසක්දා මං ඉස්කෝලෙ ඇරිලා ගෙදර ආවෙ ඒ කාලෙ උමතුවක් වෙච්චි දෙරණෙ ‘Back 2 Back’ සිංදු සැට්ටෙක බලන නොඉවසිල්ලෙන්. අම්මටසිරි කරන්‍ට් නෑ. හරි කමක් නෑ ඇඟපත හෝදං එද්දි කරන්ට් ඇවිත් තියෙයි කියලා හිත හිතා පොඩි එකා නා කියාගෙන ගෙට ආවා. ඒත් කරන්‍ට් නෑ. කමක් නෑ බත් කාල ඉවර වෙද්දි කරන්ට් ඒවිය කියලා පොඩි එකා බත් පිඟානම කාලා අත සෝදගෙන ආවත් නෑ කරන්ට් නෑ. ටික ටික හවස් වෙන්ට ගත්තා. පහ වෙද්දි කරන්ට් ඒවි කිය කියා හිත හදාගත්තට හය පහුවුණත් කරන්ට් ආවෙ නෑ. ඔය කාලෙ මං හිතන්නෙ මයෙ අක්කා ඒලෙවල් කරනවා. එයා ක්ලාස් ගිහිං ආවෙ රෑ හතට වගේ. ඒත් නෑ කරන්ට් නෑ. කුප්පි ලාම්පු එළියෙන් අම්මා බත්හැලිය ලිපේ තියනවා මතකයි මට. තාත්තා උන්නෙ සාලෙ. රෑ අට වුණා නමය වුණා නෑ කරන්ට් ආවෙම නෑ. පොඩි එකා හුජ්ජ දහරක් දාන්‍ට එළිපහළියට ගියාම ඕං දැක්කා අවටපිටාවෙ ගෙවල් සැට්ටෙක. ආන්න කරන්ට් ඇවිල්ලා.

කොලුවා සතුටින් ගෙට පියාඹලා ගියා ‘ඇඟිලි සලකුණ’ හරි යන්තං බලන්ට පුළුහන්නෙ හිතාන. ඒ කාලෙ ඒක බැලුවෙ පණ බයෙන්. ඒකයි කලින් චූ පාරක් හෙම සලා බරපැන නිදහස් කරගෙන එන්නෙ. ඇඟිලි සලකුණ බැලුවට පස්සෙ ආයෙ එළියට තියා ඇඳට යන්නෙත් සැකෙන්. ඒත් එදා එහෙම වුණේ නෑ. අපේ ගෙට විතරක්ම කරන්ට් නෑ. අනේ එදා ඒ පුංචි මෝඩයට ‘රතු බිල නොගෙවීමෙන් විදුලිය විසන්ධි කොරලා ගිහිංය’ කියලා තේරුණේ පහුවදා. අම්මවත්, තාත්තවත්, අඩු තරමෙ අක්කවත් ඒ වගක් මට කීවෙම නෑ. එයාලා ඒ වේදනාව මට හොරා දරාගන්ටැති කියලා මට දැන් හිතෙනවා. අනේ ඒ දවසෙ මුළු රැයක් එළිවෙනකල් කැහැටු අත නිදි කිරා වැටෙනකල් මයෙ අම්මා මට පවන් ගැහුවා ගැහුවා ගැහුවා ගැහුවා ………………………….සමාවෙන්ට…. මතක් වෙද්දි ඇඬෙනවා. වචන කරන්ට බැරි ආදරේ ඉක්කා වැටෙනවා.

කෛලාෂ් පුතා ලැබෙන්ට ඉද්දි පුතාගෙ අම්මා කල් තියාම කීවා පුතාට ඒසී කාමරයක් තියෙන්ටෝනි, ඒකෙ තොටිල්ල තියමුය කියලා. මාත් ඉතිං ඒ සැපතට දෙපයින්ම කැමැත්ත පළ කළා. මාධවී එයැයිගෙ දස්කම් පිරි සිත්තර ඇසින් පුතාගෙ කාමරේ සියලු සැරසිලි සිද්ධ කළා. අනේ ඔව් බංඩි ගෙඩියත් උස්සං. මාත් ඉතිං උදව් වුණා තමයි. ඒත් පුතාගෙ කාමරේ ඒ ‘පාරාදීසමය අලංකාරෙ’ සිරියා කාන්තාව මාධවී.

පුතණ්ඩියා ලැබුණයින් පස්සෙ මේං වැඩක්, එයාව තොටිල්ලෙ තියන්නෙ සෙල්ලං පාන්‍ට විතරයි. මේ තාක් ගෙවිච්ච හැමදාම, හැම රෑම පුතා උන්නෙ අපි දෙන්නා මැද්දෙ විතරමයි. ඒසී කාමරේ අරෙහෙ පැත්‍තක.

දැන් පාන්දර හය වෙද්දි පුත්‍රයා ඇහැරෙනවා. ඉන්පස්සෙ එයාටෝනි ගෙවතු සිරි අසිරි විඳගන්ට. කුරුලු කිචිබිචි අහගන්ට. කාක්කො දිහා දීප්තිමත්ව බලාන ඉන්ට. ඔංචිලි චිලි චිල්ල මලේ පදින්ට. මේං මේ අලංකෘත පින්තූරෙ වාගෙ ලෝකෙ ලස්සනම හිනාව පාන්ට…!

පුංචිම කාලෙ ෆෑන් එකක්වත් නැතුව ගිනියමට හුරුවෙච්චි පොඩි එකා මයෙ පුතා දිහා බලාගෙනයි ඉන්නෙ. ඌ මාර ආදරෙන් පුතාට මෙහෙම කියනවා මට ඇහෙනවා. මං ඒක විඳිමින්ම කෛලාෂ් පණ ඉඹගන්නවා.

” මං දැක්කෙ මයෙ දූපත විතරයි. මයෙ පුතා ලෝකෙම ඉගිලෙන්ට ”

| කසුන් මහේන්ද්‍ර හීනටිගල

Local Gossip

✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post