ශ්‍රී ලංකාවේ හිටපු හමුදාපතිවරයෙකු මෙන්ම හිටපු ආරක්ෂක ලේකම්වරයෙකුද වූ ජෙනරාල් (විශ්‍රාමික) හැමිල්ටන් වනසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
වසර 40 කට වැඩි කාලයක් මව්බිම වෙනුවෙන් අගනා සේටයක් කළ වනසිංහ මහතා මිය යන විට 91 වන වියේ පසුවිය.
1954 වසරේ දී කෙඩෙට් නිලධාරියෙකු ලෙස එවක ලංකා හමුදාවට එක් වූ වනසිංහ මහතා, මූලික යුධ පුහුණුව හැදෑරීම සඳහා Sandhurst හි රාජකීය හමුදා විශ්ව විද්‍යාලයට ඇතුළත් විය.
ඉන් අනතුරුව දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්වූ ඔහු ලංකා කාලතුවක්කු හමුදාවේ නිලධාරියෙකු ලෙස පත් කරන ලදී.
යුද හමුදාධිපති ලෙස පත්වීමට පෙර ඔහු හමුදාවේ විවිධ තනතුරු රැසක් හොබවනු ලැබූ ඔහු, 1988 වසරේ දී මෙරට 11 වන යුද හමුදාධිපති ලෙස පත්විය.
වනසිංහ මහතා 1995 යුද හමුදාවෙන් විශ්‍රාම ගත් අතර, ඉන් අනතුරුව මෙරට ඒකාබද්ධ මෙහෙයුම් අණ දෙන නිලධාරී සහ ආරක්ෂක ලේකම් ඇතුළු ප්‍රධාන තනතුරු කිහිපයක් ද හොබවනු ලැබීය.
ගම්පහ, මල්වාන ප්‍රදේශයේ දී උපත ලැබූ හැමිල්ටන් වනසිංහ මහතා ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය කොළඹ ආනන්ද විද්‍යාලයෙන් හැදෑරීය.
දක්ෂ ක්‍රීඩකයෙකු වූ ඔහු පාසල් කාලයේ ශිෂ්‍ය භට බලකායේ සැරයන් මේජර් තනතුර හෙබවිය.
විද්‍යාලයේ රයිෆල් වෙඩි තැබීමේ කණ්ඩායමේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ වනසිංහ මහතා පාසල් කාලය තුළදී මෙන්ම ඉන්පසුව හමුදාවේ දී බොහෝ කුසලාන දිනාගැනීමට වූවෙක්ය.
ඔහු සිලෝන් ඉන්ටර් ඩොමීනියන් කුඩා සිදුරු රයිෆල් වෙඩි තැබීමේ තරගාවලියද නියෝජනය කර ඇත.
✅✅✅✅
