තරුණකම රැකදෙන, දීර්ඝායුෂ වඩවන අපේ පැරැන්නන් භාවිතා කළ විශේෂ පානයන් මෙන්න ...


 හැමෝම කැමතියිනේ තරුණව ලස්සනට ඉන්න … ඉතිං අද කතා කරන්න හදන්නේ තරුණකම රැකදෙන, දීර්ඝායුෂ වඩවන ඔසු පැන් ගැනයි ..

වයසට යන්නෙ නැතිව හැමදාමත් තරුණ පෙනුමෙන් ඉන්න කවුද අකමැති. තරුණ පෙනුම රැකගෙන නීරෝගීකම පවත්වා ගන්න අපේ පැරැන්නන් එදිනෙදා භාවිතා කළ හෙළ වෙදකමේ එන පානයන් කිහිපයක් ගැන තමයි අද ඔබව දැනුවත් කරන්න යන්නේ.

බෙලි පානය

බෙලි ගසෙහි පස් පංගුවම ඉතා ගුණයි. බෙලි ගෙඩිය ඉදුණු පසු මදයේ මැලියම් ගතිය ඉවත් කරලා, පොඩි කරලා, අවශ්‍ය ප්‍රමාණයට සීනි හා ලුණු මෙන් ම දෙහි යුෂ ස්වල්පයකුත් එකතු කර රසවත් මෙන්ම ඉතා ගුණදායක පානයක් සකසා ගන්න. එය හිස් බඩට උදේම පානය කිරීමෙන් ශරීරය සිසිල් කරනවා. දීර්ඝායුෂ වඩවන තරමට බලවන්ත ඔසු පානයක්.

සියඹලා පානය

ඉදුණු සියඹලා කරල් වල ඇට ඉවත්කරගෙන එහි මදය හොඳින් පොඩිකර ගන්න. එම බොර වලට සීනි, ලුණු, කුරුඳු පොතු, එනසාල් කුඩු ස්වල්පයක් එකතු කර පානයක් සාදා ගන්න. මෙය ආහාර රුචිය වඩවන, කුසගිනි ඇතිකරවන ආහාරයක් සේම ශරීරයේ මල හොඳින් පිටකරවන, අධි රුධිර පීඩනයට හා හෘද රෝගීන්ටද ගුණදායක වන ශරීරයේ සැහැල්ලු ගතිය ඇතිකරවන ඉතා ගුණදායක පානයකි.

විටමින් – C අඩු අයට දෙහි යුෂ ස්වල්පයක් සියඹලා බොර සමඟ එකතුකර බීම වඩාත් සුබයි.

වදමල් පානය

මෙම වදමල් පානය අපේ පැරැන්නන් ඉතා සරලව සකසාගත් බලවන්ත ඖෂධීය පානයක්.

උතුරුවා ගත් වතුර වීදුරුවකට හොඳින් සෝදාගත් වදමල් දමා වසා තබන්න. ටික වේලාවක් යනවිට එම ජලය වදමලේ පැහැයට හැරේවි. ඉන්පසුව භාජනයෙන් ඉවතට වදමල් ගෙන එම පානයට සීනි ටිකක් දමා හොඳින් දියකරගන්න. අවශ්‍ය නම් ලුණු ස්වල්පයක්, දෙහි ස්වල්පයක් එකතුකර එයට කසඇට ස්වල්පයක් ද එකතුකර සරුවත් ලෙස මෙම පානය සකසාගත හැකියි. මෙය අප ශරීරයේ රුධිරය පිරිසිදු කරන, රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය යම් අගයකින් ඉහළ නංවන කාන්තාවන් සදහා විශේෂයෙන්ම සුදුසු බලවත් ඖෂධීය පානයකි.

නෙල්ලි පානය

තිත්ත, ඇඹුල්, කහට ආදී රස පහකින් යුක්ත නෙල්ලි ඉතාම වටිනා ඖෂධීය ගුණ අඩංගු පලතුරක්.

නෙල්ලි හොඳින් සෝදා ඇට ඉවත්කර ජලය ස්වල්පයක් දමා අඹරා ගන්න. එසේත් නොමැති නම් බ්ලෙන්ඩර් කරගන්න. මෙම ඉස්ම ගතියට ජලය හා සීනි එකතුකර පානයක් ලෙස සකසා බොන්න. මෙය සිසිල් කර බීමෙන් වඩාත් රසවත් බවක් ඔබට ලැබේවි.

මෙම නෙල්ලි පානය උදරාබාධ, ගැස්ට්‍රයිටිස්, ශරීරයේ විෂ ගතිය, සෙම්‍ රෝග ආදී බොහෝ රෝග ගණනාවකටම ඉතාම ප්‍රත්‍යක්ෂ ඖෂධයක්. ඊට අමතරව ඇස් වල පෙනීම වැඩිකර ගැනීමටත්, අකාලයේ වයසට යෑම පාලනය කරගැනීමටත් මෙමඟින් විශාල ගුණයක් ලබා දෙයි.

රසකිඳ පානය

රසකිඳ කියන්නේ පහසුවෙන් බෝකරගත හැකි ඖෂධීය වැල් වර්ගයක්.

රසකිඳ වැල් කොටස් විදිහට කපා ගන්න. ඒවා වියළාගෙන කල්තබාගෙන වුනත් පානයක් ලෙස කලවම් කර හදාගෙන බොන්න පුළුවන්. ඕනෑ වෙලාවට වියළාගත් රසකිඳ තම්බාගෙන පානයට ගන්න පහසුයි.

රක්තවාතය, හන්දිපත් රුදාව, ලේ වල දෝෂ, සමේ රෝග, අර්ශස්, හෘදවස්තුවේ දුර්වලතා, ශරීරයේ දැවිල්ල ගතිය නැතිකරන්න මෙම ඖෂධයට ඇති හැකියාව නම් තවත් කිසිම ඖෂධයකට දෙවෙනි වන්නේ නම් නැහැ.

ඉරමුසු පානය

මෙය ද වැල් වර්ගයක් නිසා එය ගලවා කුඩා කැබලි වලට කපා වෙන්කරගෙන සෝදා වේලා තබාගන්න. ඉන්පසු වියළි බඳුනකට අවශ්‍ය විට ඒවා දමා තම්බා පානයට ගන්න. මෙය කිතුල් හකුරුත් සමඟ තේ පානයක් හා සමානව ඔබට ගන්නත් පුළුවන්. කසඇට, සීනි දමා සරුවත් වගේ හදාගෙන සිසිල් කරගෙන තියාගෙන බොන්නත් පුළුවන්.

මෙම ඉරමුසු කිරිදෙන මව්වරුන්ට හා දියවැඩියා රෝගීන්ට ඉතා ගුණදායක වන අතර, මුත්‍රා දැවිල්ල දුරුකිරීමට, හිසකෙස් වැඩවීමට, ශරීරයේ පෙනුම වැඩි කිරීමට හා ශරීරයේ සැහැල්ලු ගතියක් ඇති කිරීමට ද සමත් වෙනවා.


✅✅✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post