නිදා ගැනීමේදී මුඛය විවෘත තිබීම රෝගයක පෙර නිමිත්තක් ද? ඔබ වෛද්‍යවරයෙකු හමු විය යුත්තේ කිනම් අවස්ථාවකදී ද?


 සෑම අයෙක් ම පාහේ නින්දේදී තමාට ම ආවේණික පුරුදු අනුගමනය කරති.

ඇතමෙක් උසින් වැඩි කොට්ටයක් හිසට තබාගෙන නින්දට යති. තවත් පිරිසක් උසින් අඩු කොට්ටයක් හිසට තබාගෙන නින්දට යාමට කැමැත්තක් දක්වති.

කාලගුණ තත්ත්වය කුමක් වුව ද, ඇතැමුන්ට පොරවනයක් නොමැතිව නිදා ගත නොහැකි ය. නමුත් අනෙක් අය එලෙස නිදා ගැනීමට කැමැත්තක් නොදක්වති.

නමුත් අප හොඳ නින්දකට වැටුණු විට අපට බොහෝ දේ පිළිබඳ දැනීමක් නොමැත.

නිදා සිටියදී ඔබේ මුඛය විවෘතව පවතින්නේ ද? 'නින්දේදී ඔබ කට ඇරගෙන සිටිය යුතු' යැයි කවුරුන් හෝ ඔබට පවසා තිබේ ද?

මේ, නින්දේදී මුඛය විවෘත වීමට හේතු, ඉන් අදහස් වන්නේ කුමක් ද? සහ එය කිසියම් සෞඛ්‍ය අවදානමක් පිළිබඳ පෙන්නුම් කරනවා ද? යන්න පිළිබඳව කෙරෙන විමසා බැලීමකි.

නිදා ගැනීමේදී මුඛය විවෘතව තිබීම


බොහෝ අවස්ථාවලදී වෙහෙස මහන්සි වී වැඩ කරන විට පුද්ගලයින්ට වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් අවශ්‍ය වේ. මේ සඳහා ඔවුහු නාසයෙන් මෙන් ම මුඛයෙන් ද හුස්ම ගැනීම සිදු කරති.

දුවන අවස්ථාවකදී හෝ පාපන්දු වැනි ක්‍රීඩාවක නිරත වන විට මිනිසුන් ඔවුන්ගේ මුඛය හරහා හුස්ම ගන්නා ආකාරය ඔබට දැකිය හැකියි.

නමුත්, සාමාන්‍යයෙන් අප නිදා ගන්නා විට, අපගේ ඇස් මෙන් ම අපගේ මුඛය ද වැසී තිබීම සාමාන්‍ය ස්වභාවයයි.

නින්දේ පසුවන අතරතුර අප හුස්ම ගනු ලබන්නේ නාසය හරහා ය. අප සැහැල්ලුවෙන් සිටීමේදී අපට වේගයෙන් හුස්ම ගැනීමේ අවශ්‍යතාවක් නොමැත.

නමුත් බොහෝ පුද්ගලයෝ ඔවුන්ගේ නින්ද අතරතුර මුඛය විවර කර ගෙන සිටිති. ඔවුන් හුස්ම ගැනීම සිදු කරන්නේ මුඛය හරහා ය.

මෙයට හේතුව කුමක්දැයි සොයා බැලීම සඳහා අප දිල්ලියේ All India Institute of Medical Sciences (AIIMS)හි පෙනහලු, දැඩි සත්කාර සහ නිද්‍රා වෛද්‍ය අංශයේ වෛද්‍යවරයකු වන වෛද්‍ය විජේ හට්ටා සම්බන්ධ කර ගත්තේ ය.

"කට ඇරගෙන නිදා ගැනීම සාමාන්‍ය දෙයක්. ගොඩක් අය නිදා ගන්නේ මෙහෙම තමයි. කට ඇරගෙන නිදාගැනීම කිසි ම රෝගයක ලක්ෂණයක් නෙමෙයි," යනුවෙන් වෛද්‍ය විජේ හත්තා පැහැදිලි කළේ ය.

"නාසයේ කුමක් හෝ ප්‍රශ්නයක් තියෙනවා නම්, නැති නම් නාසයේ හිරවීමක් වගේ දෙයක් තියෙනවා නම් මිනිස්සු හුස්ම ගන්නේ කටින්," ඔහු පැවසුවේ ය.

නාසය සිරවීමට පොදු හේතුවක් වන්නේ දරුණු සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයයි. කෙසේ වෙතත් ඇතැම් අවස්ථාවලදී නාසය සිරවීම සෙම් ගෙඩි ඉදිමීම නිසා ද සිදු විය හැකියි. මෙය දරුවන් තුළ සුලභව දැකිය හැකි තත්ත්වයකි.

දරුවන්ට ආසාදනවලට එරෙහිව සටන් කිරීමට උපකාරී වන විශාල ඇඩනොයිඩ් (adenoids) හෝ සෙම් ගෙඩි (tonsils) පවතී.

මෙය නාසයේ තරමක් සිර ස්වභාවයක ඇති කිරීමට හේතු වන බැවින් එය බොහෝ දරුවන් මුඛය විවර නිදා ගැනීමට ඉඩ සලසයි.

ඔබ වයසින් වැඩෙන විට සෙම් ගෙඩි කුඩා වන අතර මෙම පුරුද්ද ක්‍රමයෙන් නැති වී යයි.

ඔබ ප්‍රවේශම් විය යුත්තේ කුමන අවස්ථාවකදී ද?



සෙප්ටම් කාටිලේජය නාසික ප්‍රාචීරයේ වැදගත් කොටසකි. එය නාසික සෙප්ටම් කාටිලේජය ලෙස ද හැඳින්වේ. මෙය නාස් කුහරය කොටස් දෙකකට බෙදා වෙන් කරයි.

"සෙප්ටම් කාටිලේජය ස්වභාවිකව තරමක් වක්‍ර හැඩයක් ගන්නවා, එය සම්පූර්ණයෙන් ම ඍජුව පිහිටා නැහැ. නමුත් එය ප්‍රමාණයට වඩා වක්‍ර වුණොත් නාසයේ කොටසක් අවහිර වෙනවා. මේ නිසා නාසික සෙප්ටම් අපගමනය හේතුවෙන් මිනිසුන් කටින් හුස්ම ගැනීමට පටන් ගන්නවා," වෛද්‍ය විජේ හත්තා පවසයි.

මෙම ගැටලුව බරපතළ නම්, එය සෙප්ටොප්ලාස්ටි ශල්‍යකර්මය සිදුකිරීමෙන් සකසා ගත හැකි ය.

කෙසේ වෙතත් ඔබ නින්දේ සිටින විට ඔබේ මුඛය විවෘතව තබාගෙන ශබ්දයෙන් හුස්ම ගන්නේ නම් හෝ ගෙරවීමක් සිදු වන්නේ නම් හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සුදුසු වේ.

ඔබ වෛද්‍ය උපදෙස් ලබා ගත යුත්තේ කුමන අවස්ථාවකදී ද?


"මුඛයෙන් හුස්ම ගැනීම මුඛයේ වියළි බවක් ඇති කළ හැකියි. මෙය මුඛ සනීපාරක්ෂාවට බලපෑ හැකියි," යනුවෙන් දිල්ලියේ සෆ්දර්ජන්ග් රෝහලේ පෙනහලු, දැඩි සත්කාර සහ නිද්‍රා ඖෂධ අංශයේ ප්‍රධානී වෛද්‍ය රෝහිත් කුමාර් පවසයි.

වෛද්‍යවරුන් පවසන පරිදි යම් පුද්ගලයෙක් මුඛය විවෘත කර ගෙන නිදා ගන්නේ නම් හෝ මුඛයෙන් හුස්ම ගන්නේ නම්, එම අවස්ථාවේ ගොරවන ශබ්දයක් ද ඇසෙන්නේ නම් එය වෙනත් ගැටලුවක ලක්ෂණයක් ද විය හැකියි.

එවැනි තත්ත්වයකදී ඊට හේතුව සොයා ගැනීමට වෛද්‍යවරයෙකු හා සම්බන්ධ වීම වඩාත් සුදුසු ය.

"යම් පුද්ගලයෙකු කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව හෝ වෙනත් කිසිදු ගැටලුවක් නොමැතිව මුඛය විවෘතව නිදා සිටින්නේ නම්, ඔවුන් පළමුව කන, නාසය සහ උගුර ආශ්‍රිත පරීක්ෂාවක් සිදු කර ගත යුතුයි. වැඩිදුර පරීක්ෂණ සිදු කළ හැක්කේ ඉන් පසුව පමණයි," වෛද්‍ය රෝහිත් කුමාර් පවසයි


BBC NEWS

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post