බනා මන්ත්‍රී ඝාතනයේ සැකකරු සියල්ල වමාරයි


 හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව හෙවත් 'බනා මන්ත්‍රී' නැමැත්තා ඝාතනය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මඟින් අනාවරණ කරගෙන තිබේ.

ඒ අත්අඩංගුවට ගත්, අදාළ ඝාතනයේ මෝටර් රථය පැදවූ රියදුරාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදීය.

ලලිත් කන්නන්ගර හෙවත් 'බස් ලලිත්' අදාළ ඝාතනය වෙනුවෙන් තමන්ට රුපියල් ලක්ෂ 3ක මුදලක් ලබාදෙන බවට පොරොන්දු වූයේයැයි ඔහු එහිදී පවසා තිබේ.

බස් ලලිත් තමන් අමතා "ශාන්ත මගේ යාළුවා. ඒ වුණාට ඌට ගහන්න ඕනේ. ඌ රෙස්ටූරන්ට් එකක් හදනවා. ඒකට ඉන්ටර් ලොක් ගල් අල්ලන්න ඕන කියලා ලලිත් අයියා කිව්වා කියපන්. ඒකට ගෙනාපු බඩු බාන්න ඕනේ කියලා ශාන්තට කෝල් කරපන්. පස්සේ ලොකේෂන් එක එව්වම, එහෙම එන්න අමාරුයි, ඇවිල්ලා පාර පෙන්නන්න කියපන්. එහෙම ආවාම ගහපන්" කියලා මට ලලිත් අයියා කිව්වා" යනුවෙන් සැකකරු පොලිසිය හමුවේ අනාවරණ කර තිබුණි.

එම උපදෙස් අනුව තමා 'බනා මන්ත්‍රී'ව ගෙන්වාගෙන ඔහු පසුපස හඹාගොස් සැලසුම ක්‍රියාත්මක කළ බව සැකකරු වැඩිදුරටත් පවසා තිබේ.

එමෙන්ම වෙඩික්කරු සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් තමන් නොදන්නා බවත් ඔහුව ප්‍රවාහනය කිරීම පමණක් සිදුකළ බවත් සැකකරු පවසා ඇති බව වාර්තා වේ.

බස් ලලිත් විසින් ඔහුගේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා තමන්ට ලබාදී තිබූ මෝටර් රථයෙන් ගොස් ඝාතනය සිදුකිරීමට සූදානම් වුවද, එහි හටගත් කාර්මික දෝෂයක් හේතුවෙන් වෙනත් මෝටර් රථයක් භාවිත කළ බව සැකකරු පොලීසිය හමුවේ පවසා තිබේ.

ඒ අනුව විශේෂ විමර්ශන කාර්යාංශයේ බුද්ධි තොරතුරු මත  බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මඟින් අදාළ මෝටර් රථය අද සිය භාරයට ගත් අතර එහිදී අනාවරණ වී තිබුණේ එයද ව්‍යාජ ලිපිලේඛන මඟින් ලියාපදිංචි කළ එකක් බවය.

ඝාතනය වූ බනා මන්ත්‍රී නැමැත්තා 'බස් ලලිත්' සමග සමීප සබඳතාවක් පවත්වා ඇති අතර 'බස් ලලිත්' ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් කප්පම් ලබාගැනීම සඳහා තර්ජන සිදුකරන අවස්ථාවලදී ඒ පිළිබඳව ව්‍යාපාරිකයන් විසින් 'බනා මන්ත්‍රී' නැමැත්තාට දැනුම්දීමෙන් අනතුරුව ඔහු මැදිහත්වී එම කප්පම් මුදල් ලබානොගන්නා ලෙස 'බස් ලලිත්ගෙන්' ඉල්ලීම් කර ඇතැයිද වාර්තා වේ.

ඒ අනුව අවශ්‍ය පරිදි කප්පම් ලබාගැනීමට නොහැකි වීම නිසා ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් තවදුරටත් බියගැන්වීමේ අරමුණින් 'බස් ලලිත්' නැමැත්තා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද පොලීසිය සඳහන් කළේය.

මේ අතර බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන සැකකාර රියදුරාගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, කොටහැර පොඩ්ඩාට හා දෙමටගොඩ රුවන්ට වෙඩිතැබීමට තැත්කිරීමේ සිද්ධිවල ද යතුරුපැදිකරු ලෙස තමන් කටයුතු කළ බවය.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මඟින් සිදුකරයි.


Ada Derana News

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post