මීගොඩ ආටිගල පාර ප්‍රදේශයේදී හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභිකයෙකු ඝාතනයට ලක්කිරීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් අද (13) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
මේ අතර ඝාතනයට ලක්වූ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ දේහය ඊයේ (12) රාත්‍රී පාදුක්ක වටරැක සෝමරතන මාවතේ පිහිටි ඔහුගේ නිවසට රැගෙන විත් ඇත.
දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන සිකුරාදා සිදුකිරීමට නියමිතය.
ඊයේ දහවල් 1.10ට පමණ සිදුවූ වෙඩි තැබීමෙන් ශාන්ත මුදුන්කොටුව හෙවත් 'බනා මන්ත්‍රී' නම් 46 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණි.
ඔහු හෝමාගම ප්‍රාදේශිය සභාවේ හිටපු සභිකයෙකි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සහ තවත් පක්ෂ කිහිපයක්ම නියෝජනය කර හිටපු මන්ත්‍රීවරයා ඉඩම් ලබාගැනීම, විකිණීම් හා ඉදිකිරීම් අංශයේ ව්‍යාපාරික කටයුතුවල නිරත වූ අයෙකි.
ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් ඔහු මීට දින කිහිපයකට ඉහතදී මීගොඩ පොලීසියට ගොස් පැමිණිල්ලක් ද ගොනුකර තිබුණි.
එසේම ඝාතනය වූ තැනැත්තා 'ගගන' නම් සංවිධානාත්මක අපරාධකරුගේ මස්සිනා බව ද, ඔහු ලලිත් කන්නංගර හෙවත් 'බස් ලලිත්' නැමැත්තාගේ නම භාවිත කරමින් කප්පම් ලබාගැනීමේ සිදුවීම්වලට සම්බන්ධ වී ඇති බැවින් ඊට පළිගැනීමක් ලෙස 'බස් ලලිත්' නැමැත්තා මෙම ඝාතනය සිදුකර ඇති බවටත් පොලීසිය සැක පළකරයි.
කෙසේ වෙතත් වෙඩි තැබීමත් සමඟ ක්ෂණිකව ක්‍රියාත්මක වූ පොලීසිය මාර්ග බාධක යොදා රථවාහන පරීක්ෂා කිරීමක් කර තිබූ අතර එහිදි තලංගම, පාලම්තුන හංදිය ප්‍රදේශයේදී වෙඩික්කරු පැමිණි මෝටර් රථය සහ එහි රියදුරුද, වෙඩිතැබීමට භාවිත කළ බවට සැකකෙරෙන මිලිමීටර 9 වර්ගයේ ගිනිඅවිය ද තලංගම පොලිස් භාරයට ගෙන තිබුණි.
අනතුරුව අදාළ රියදුරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමෙන් ලබාගත් තොරතුරු අනුව වෙඩික්කරු සහ තවත් අයෙකු ද ඊයේ පස්වරුවේ තලංගම, පාලම්තුන හංදිය අසලදී පොලීසිය අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරුවන් අද කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට අවසර ඉල්ලීමට නියමිත බව වාර්තා වේ.
✅✅✅✅✅✅✅✅