'හුරතල්' යමක් දුටු විට එය මිරිකන්න හිතෙන්නේ ඇයි?


 "ඔය පූසට නිදහසේ ඉන්න දෙන්න. නිතර අත ගාන එක ඌට කරදරයක්," මාගේ දෙවන පුතුට බිරිඳ මෙම නියෝගය දිනකට කිහිප වරක් ම කරන්නී ය.

ඒ, ඔහු පූසා දකින වාරයක් පාසා ඌට සමීප වී තදින් අත ගෑමට පෙළඹෙන නිසා ය. මව එසේ නියෝග කළ ද, මාගේ පුතු ඊට අවනත වන්නේ, යළිත් පූසා දකින තුරු පමණි.

යළිත් පූසා දකින ඔහු පෙර කී ලෙස ම කරයි.

මෙය මා දිනපතා දකින සිද්ධියකි. මෙවැනි අවස්ථා ඔබ බොහෝවිට අසා හෝ දැක ඇතුවාට කිසිදු සැකයක් නැත.


"අනේ එයාගෙ ලස්සන. අල්ලල මිරිකන්න හිතෙනවා."


"මට ඔයාව ගිලින්න හිතෙනවා."

සුරතල් හෝ හුරුබුහුටි යමක්, සතෙකු හෝ කුඩා දරුවෙකු දකින අවස්ථාවක මෙවැනි කතා ඔබ කොතෙකුත් කියා තිබෙන්නට හැකි අතර, එවැනි කතා වෙනත් අය කියනු අසා තිබෙන්නට ද පුළුවන.


මෙම තත්ත්වය මනෝවිද්‍යාවේදී හුරුබුහුටි ආක්‍රමණශීලීත්වය (cute aggression) ලෙස හැඳින්වේ.

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ සමාජ මනෝවිද්‍යාව පිළිබඳ සහය මහාචාර්ය ලීසා ඒ. විලියම්ස් පෙන්වා දෙන්නේ, 'අපගේ ඇසට හසුවන හුරුබුහුටි වස්තුවක් මිරිකීමට, තදින් ඇල්ලීමට, කෙනිත්තීමට හෝ සපා කෑමට ඇති වන ආශාව හුරුබුහුටි ආක්‍රමණශීලීත්වය ලෙස සැලකෙන බව ය.

හුරුබුහුටි ආක්‍රමණශීලීත්වය තුළ දුෂ්ට චේතනාවෙන් නොමැති අතර, විද්‍යාඥයින් විශ්වාස කරන්නේ, එය දැඩි ධනාත්මක හැඟීම් සමග මතු වන මනෝභාවයක් බව ය.

"හුරුබුහුටි ආක්‍රමණශීලීත්වය අපට දරාගන්න බැරි තරම් හුරුබුහුටි දෙයක් සමග අන්තර් ක්‍රියා කරන විට අපට ඇති වන ධනාත්මක හැඟීම්වල අධික බර කළමනාකරණය කිරීමේ යාන්ත්‍රණයක් ලෙස සලකන්න පුළුවන්," සහය මහාචාර්ය ලීසා ඒ. විලියම්ස් පවසයි.

"වෙනත් වචනවලින් කිව්වොත්, ධනාත්මක හැඟීම්වල අතිමහත් පෙළඹවීමකට මුහුණ දීම සඳහා, අපි එය මැඩ පැවැත්වීමට උත්සහ කරන විට එය ආක්‍රමණශීලී නැඹුරුවක් විදිහට ක්‍රියා කරන්න පුළුවන්."


"එය ද්විරූපී චිත්තවේගීය ප්‍රකාශනයක් විදියට සලකන්න පුළුවන්. එනම්, අපගේ සිතේ ඇති වන දේට පටහැනිව ක්‍රියාත්මක වන ඉතා චිත්තවේගීය අවස්ථාවන්හිදී පරස්පර විරෝධී ප්‍රතිචාරයක්," මහාචාර්ය විලියම්ස් පවසයි.

"හුරුබුහුටි ආක්‍රමණශීලීත්වයේදී, මෙය අපට ප්‍රියජනක යැයි පෙනෙන දෙයක් මිරිකීමට හෝ පොඩි කිරීමට ඇති වන ආශාවක් ලෙස ප්‍රකාශ වෙනවා. ඒත්, කිසිදු හානියක් කිරීමේ අරමුණින් එම ආවේගය මත ක්‍රියා කිරීමට කිසිදු නැඹුරුවක් නොමැති බව දැකිය හැකි යි."



චිත්තවේගීය ප්‍රතිචාරය

ළදරුවෙකු, බලු පැටියෙකු හෝ පූස් පැටියෙකු වැනි හුරුබුහුටි දෙයක් දුටු විට ඒ පිළිබඳව ඇති සෙනෙහස ප්‍රකාශ කිරීමට දැඩි ආශාවක් දැනිය හැකි නමුත් මෙය වචනවලින් ප්‍රකාශ වන්නේ, ආක්‍රමණශීලී ආවේගයන් ලෙස ය.

ධනාත්මක හැඟීම් සහ ඉහළ උද්දීපනයේ සංයෝජනය මෙම පරස්පර විරෝධී ප්‍රතිචාරයට හේතු විය හැක. එය ප්‍රබල චිත්තවේගීය ප්‍රතික්‍රියා ඇති කළ හැකි අධික හුරුබුහුටිබවට ප්‍රතිචාර දක්වන ක්‍රමයකි.

අධ්‍යයනවලින් පෙනී යන්නේ, හුරුබුහුටි ආක්‍රමණශීලීත්වය සාමාන්‍ය ප්‍රතික්‍රියාවක් බවත් සැබෑ ආක්‍රමණශීලී ප්‍රවණතා පෙන්නුම් නොකරන බවත් ය. එය මිනිස් හැඟීම්වල සංකීර්ණත්වය සහ ඒවා සහජීවනයෙන් පැවතිය හැකි ආකාරය ඉස්මතු කරයි.


හුරුබුහුටි ආක්‍රමණශීලීත්වය ඇති වීමේ ක්‍රියාවලිය කුමක් ද?

හුරුබුහුටි ආක්‍රමණශීලීත්වය යනු පුද්ගලයෙකුගේ, සතෙකුගේ හෝ වස්තුවක අධික හුරුබුහුටි බව නිසා ඇති වන සංකීර්ණ චිත්තවේගීය ප්‍රතිචාරයකි.

ඒ අනුව, අතිශයින් හුරුබුහුටි දෙයක් දුටු විට ප්‍රීතිය, සෙනෙහස සහ උණුසුම පිළිබඳ දැඩි හැඟීම් ඇති වෙයි. මෙය චිත්තවේගීය දරා ගැනීමට අපහසු තරම් හැඟීමකට හේතු විය හැක.

එහිදී, ධනාත්මක හැඟීම් කොතරම් ශක්තිමත් විය හැකි ද යත් ඒවා ප්‍රතිවිරුද්ධ ආක්‍රමණශීලී ආවේගයක් ඇති කරයි. මෙය බොහෝ විට "මට ඔබව මිරිකන්න පුළුවන්!" වැනි වාක්‍ය ඛණ්ඩ හෝ ආක්‍රමණශීලී අභිනයන් හරහා ප්‍රකාශ වේ.

මනෝවිද්‍යාත්මක පැහැදිලි කිරීම

හුරුබුහුටි උත්තේජකවලට නිරාවරණය වූ විට, මොළය ඩොපමයින් (dopamine) වැනි ස්නායු සම්ප්‍රේෂක නිකුත් කරයි. එනම්, සතුටේ හැඟීම් වැඩි දියුණු කරයි. ඒ සමග ම, හැඟීම් සැකසීම සඳහා වගකිව යුතු ඇමිග්ඩලා (amygdala) ද සක්‍රිය විය හැකි අතර, ඒවා ආක්‍රමණශීලී ආවේගයන්ට දායක වන බව මනෝවිද්‍යාත්මකව පැහැදිලි කෙරේ.

"මේ සම්බන්ධව මොළයේ ක්‍රියාකාරීත්වය ගැන පර්යේෂණ කරලා තියෙනවා. ඒවායින් කියන්නේ හුරුබුහුටි දෙයක් දැක්කා ම මොළයේ තියෙන රිවෝඩ් සිස්ටම් එක (reward system) ඇක්ටිවේට් වෙනවා. රිවෝඩ් සිස්ටම් එකෙන් තමයි ඇබ්බැහි වීම් වගේ දේවල්වලටත් යොමු වෙන්නෙ. එතනදි ඩොපමයින් රිලීස් වෙනවා. ඒ එක්ක ම ඉමෝෂන් රෙග්‍යුලේෂන් ඒරියා එකත් ඇක්ටිවේට් වෙනවා. එතනදි තමයි, අපට හිතෙන දේ ක්‍රියාවට නංවන්නෙ නැතුව නවතින්නේ," පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කාන්ති හෙට්ටිගොඩ බීබීසී සිංහල සේවයට පැවසීය.

ඇය පෙන්වා දෙන පරිදි, හුරුබුහුටි ආක්‍රමණශීලීත්වයේදී ඇති වන්නේ, හුරුබුහුටි යමක් දැකීමෙන් ඇති වන අධික සතුටට ප්‍රතිචාර දැක්වීම සහ හිතට දැනෙන අදහස ක්‍රියාත්මක කිරීම වැළැක්වීම යන ක්‍රියා දෙක අතර ඇති ඝට්ඨනය හේතුවෙනි.

"රිවෝඩ් සිස්ටම් එක ඇක්ටිවේට් වුණා ම අපට හිතෙනවා, මිරිකන්න, කොනිත්තන්න, හපන්න, තද කරන්න වගේ දේවල්. ඒත් ඒ එක්ක ම ඉමෝෂන් රෙග්‍යුලේෂන් ඒරියා එක ඇක්ටිවේට් වෙන නිසා අපට හිතෙන දේවල් අපි පාලනය කර ගන්නවා. ඒකයි මෙතනදි සිද්ධ වෙන්නේ."

පරස්පර විරෝධී ද්විරූපී ක්‍රියාකාරීත්වය

හුරුබුහුටි ආක්‍රමණශීලීත්වය ද්විරූප ක්‍රියාකාරීත්වයක් (Dimorphous) දැකිය හැකි බව යේල් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් වන ඔරියානා ආර්. ඇරගන්, මාගරට් එස්. ක්ලාර්ක්, රෙබෙකා එල්. ඩයර් සහ ජෝන් ඒ. බාර්ග් කරන ලද අධ්‍යයනයකින් තහවුරු කර තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ, හුරුබුහුටි ආක්‍රමණශීලීත්වයේදී ධනාත්මක හැඟීම්වල ද්විරූපී ප්‍රකාශනයක් සිදු වන බව ය.

උදාහරණයක් ලෙස හුරුබුහුටි යමක් දුටු විට ඒ සම්බන්ධයෙන් අධික ආශාවක් ඇති වන අතර, එම ආශාව වචනවලින් පිට වන්නේ, ඊට හාත්පසින් ම විරුද්ධ අර්ථයකිනි.

එනම්, "කන්න හිතෙනවා. මිරිකන්න හිතෙනවා. ගිලින්න හිතෙනවා" වැනි ආක්‍රමණශීලී අදහස් මගිනි. කෙසේ වෙතත්, එවැනි අදහස් ක්‍රියාත්මක කිරීමක් හෝ වැරදි අදහසකින් ඒවා ප්‍රකාශ කිරීමක් සිදු නොවන බව ආචාර්ය කාන්ති හෙට්ටිගොඩ පෙන්වා දෙයි.

පරිණාමවාදය අනුව පැහැදිලි කිරීම

හුරුබුහුටි ආක්‍රමණශීලීත්වය යන්න පරිණාමවාදයට අනුකූලව ද විග්‍රහ කළ හැකි බව ආචාර්ය කාන්ති හෙට්ටිගොඩ පවසයි.

"ගොඩක් වෙලාවට මේ හැඟීම ඇති වෙන්නේ පුංචි දරුවන්, සතුන්ගේ පැටියන් වගේ දැක්කහම නේ. එතන පරිණාමවාදයට සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ, කුඩා දරුවෙකුට, පැටියෙකුට තනිව වැඩෙන්න බැහැ. ඔවුන්ට රැකවරණයක් අවශ්‍ය යි. ඒ රැකවරණය ලැබෙන්න අවශ්‍ය ආකර්ෂණය ඇති වෙන්නෙ හුරුබුහුටිකම නිසයි. ඒ නිසා පරිණාමවාදය අනුව මේ හැඟීම වාසිසහගත තත්ත්වයක්."

සෞඛ්‍යමය ප්‍රතිලාභ

කුඩා දරුවෙකු තවත් දරුවෙකු සිප ගැනීමට උත්සහ කරමින්

ඡායාරූප මූලාශ්‍රය,Getty Images

හුරුබුහුටි ආක්‍රමණශීලීත්වය හේතුවෙන් සෞඛ්‍යමය ප්‍රතිලාභ ද හිමි වන බව මනෝවිද්‍යාඥයෝ පවසති.

ඉන් ප්‍රධාන කරුණක් වන්නේ, මනසේ ඇති වන ප්‍රබල හැඟීම් තමන් විසින් ම පාලනය කර ගැනීමට ඉන් සහයක් ලැබීම ය.

ඊට අමතරව, හුරුබුහුටි ආක්‍රමණශීලීත්වය වැඩි වශයෙන් දැකිය හැකි පුද්ගලයින් වැඩිහිටි වූ පසුව කුඩා දරුවන්ට, වැඩිහිටියන්ට සහ සතුන්ට දැඩි ලෙස ආදරය දැක්වීමත්, රැකවරණය දීමත් බොහෝවිට දැකිය හැකි බව ආචාර්ය කාන්ති හෙට්ටිගොඩ පවසයි.

සමාජයීය බලපෑම

හුරුබුහුටි ආක්‍රමණශීලීත්වය ඕනෑ ම පුද්ගලයෙකු තුළ දැකිය හැකි අතර, කාන්තාවන්ට වඩා පිරිමින් තුළ වැඩි වශයෙන් දැකිය හැකි සාමාන්‍ය මානසික තත්ත්වයක් බව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ මනෝ වෛද්‍ය කපිල රණසිංහ පවසයි.

ඔහු පවසන්නේ හුරුබුහුටි ආක්‍රමණශීලී හැඟීම් ඕනෑ ම අයෙකු තුළ ඇති වුව ද, සමාජමය බලපෑම් හේතුවෙන් බොහෝවිට එම හැඟීම් යටපත් කර ගැනීමට සිදුවන බව ය.

කෙසේ වෙතත්, එවැනි හැඟීම් පාලනය කර ගැනීමට නොහැකි වුවහොත් සමාජයීය වශයෙන් ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වන බව ද වෛද්‍ය කපිල රණසිංහගේ අදහස යි.

"ලිංගික ආශාවන් වගේ කාරණාවලදී මෙම තත්ත්වය ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට කියනවා නම්, බස් රථයක ගමන් කරන කාන්තාවකගේ අඟ පසඟවලට දැඩි ආශාවක් යමෙකු තුළ ඇති විය හැකි යි. ඒ දැඩි ආශාව යටපත් කර ගන්න බැරි වෙලා ඇයව ස්පර්ශ කරන්න ගියොත් අදාළ පුද්ගලයාට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා යම් දැඩි ආශාවක් තමන්ගේ හිතට දැනුණු වහා ම ඒකට ප්‍රතිචාර දක්වන්න යන එක භයානක යි. ඒක පාලනය කර ගන්න අපි පුරුදු වෙන්න ඕන."

✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post