ඇල්ල බස් අනතුරට හේතුව ? - තුවාල ලැබූ අයෙකුගෙන් හෙළිදරව්වක්


 ඇල්ල පොලිස් වසමේ ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් රැගත් බස් රථයක් එම මාර්ගයේ 24 වන කිලෝමීටර් කණුව ආසන්නයේ ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් මේ වනවිට මියගොස් ඇති සංඛ්‍යාව 15 දෙනෙකු බව පොලීසිය පවසයි.

රියදුරු සහ කොන්දොස්තර සමග බස් රථයේ මගීන් 34 දෙනෙකු ගමන් කර තිබුණි.

ඇල්ල වැල්ලවාය මාර්ගයේ 23 සහ 24 කිලෝමීටර් කණුව අසල ප්‍රදේශයේදී ඊයේ (04) රාත්‍රී 9ට පමණ අනතුර සිදුවී ඇත.

අදාළ බස් රථය ඉදිරියෙන් පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයකද ගැටී මාර්ගයේ ආරක්ෂිත යකඩ වැටේද ගැටී අඩි 1000ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබේ.

කෙසේවෙතත් අනතුරින් පසුව ඉතා යුහුසුළුව ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන්, ආරක්ෂක අංශ මෙන්ම මුදාගැනීමේ කණ්ඩායම් තුවාලකරුවන් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණි.

මේ වනවිට පිරිමි පුද්ගලයින් 6ක්, කාන්තාවන් 5ක්, පිරිමි දරුවන් 3ක් සහ දැරියන් දෙදෙනෙකු ඇතුළු 18 දෙනෙකු බදුල්ල ශික්ෂණ රෝහල, බණ්ඩාරවෙල සහ දියතලාව යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

මියගිය අය අතර පිරිමි පුද්ගලයින් 6ක් සහ කාන්තාවන් 9ක් සිටින බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

මොවුන් සියලුදෙනා තංගල්ල සහ ඒ අවට ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් තංගල්ල නගර සභා සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන් බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා තහවුරු කළේය.

මෘතශරීර මේ වනවිට දියතලාව, බදුල්ල සහ බණ්ඩාරවෙල රෝහල්වල තැන්පත් කර තිබේ.

මේ අතර බස් රථයේ අධික වේගය හේතුවෙන් එය පාලනය කරගැනීමට නොහැකිව මෙම අනතුර සිදුවී ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කළේය.

කෙසේවෙතත් අනතුර සිදුවීමට පෙර බස් රථයේ රියදුරු විසින් තිරිංගවල යම්කිසි දෝෂයක් පවතින බවට ප්‍රකාශ කර ඇති බවට අනතුරින් දිවි බේරාගත් පුද්ගලයෙකු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.


✅✅✅✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post