විවාහ වන වයසේ පසුවන තරුණ, තරුණියන් විවාහයට පෙර සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් (Full Blood Count) සිදුකර තැලසීමියා වාහක ද, නැති ද, යන්න පිළිබදව දැනුවත්වී විවාහ වන ලෙසත්, තැලසීමියා වාහකයෙක් තවත් තැලසීමියා වාහකයෙක් සමග විවාහ නොවීමෙන් මෙරටින් සම්පූර්ණයෙන්ම තැලසීමියා රෝගය තුරන්කල හැකි බවත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (බෝ නොවන රෝග) විශේෂඥ වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ මහත්මිය අවධාරණය කළාය.
ඇය මේ බව අවධාරණය කරන ලද්දේ ජාත්‍යන්තර තැලසීමියා දිනයට සමගාමීව සංවිධානය කරතිබූ ජාතික සැමරුම් උළෙලට එක් වෙමිනි.
තැලසීමියා රෝගය සම්භන්ධයෙන් දැඩි අවධානයක් යොමුකළ යුතු අතරම, රෝගය සෑදීම වළක්වා ගැනීමේ වැදගත්ම, පළමු කාරණාව විය යුතු බවත්, මෙම රෝගය වාහක තත්ත්වයක් මත ජාන වලින් බෝවන රෝගයක් බවත්, මෙරට තුළ ජීවත්වන ජනතාවගෙන් 10% ක මෙම ජානය තිබෙන බවත්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමීය වැඩිදුරටත් පැවසුවා ය.
එමෙන්ම වර්ථමානය වන විට ශ්‍රි ලංකාව තුල තැලසීමියා රෝගීන් 2000 කට ආසන්න පිරිසක් සිටින බවත්, මෙම රෝගීන්ගේ ප්‍රතිකාර සේවාවන් සදහා වසරකට ජාතික සෞඛ්‍ය අයවැයෙන් සියයට 15 ක මුදලක් වෙන්වන බවත්, එක රෝගියෙකුට වසරකට රුපියල් මිලියන 10 කට අධික මුදලක් වෙන් වන බවත්, ඇට මිදුළු බද්ධ කිරීමේ ශල්‍යකර්මය සදහාත් එක් අයෙකුට රුපියල් මිලියන 40 කට අධික මුදලක් වැය කිරීමට සිදුවන බවත්, විශේෂඥ වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ මහත්මිය තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටියා ය.
කුරුණැගල, අනුරාධපුරය, බදුල්ල, අම්පාර සහ මඩකලපුව ප්‍රදේශ වලින් තැලසීමියා රෝගීන් 100 කට අධික පිරිසක් වාර්තා වන බවත්, සෑම වසරකම තැලසීමියා රෝගයෙන් පෙළෙන දරුවන් 60 ක් පමණ මෙරට ඉපදෙන බවත් ඇය මෙහි දී පැවසුවා ය.
ජාත්‍යන්තර තැලසීමියා දිනය සෑම වසරකම මැයි මස 08 දිනට යෙදී ඇත. තැලසීමියා යනු ජානමය වෙනසක් මගින් හීමොග්ලොබින් නිෂ්පාදනයේ දෝෂ ඇතිවීම නිසා හටගන්නා රෝගී තත්වයක් බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි.
Today News Lk