දරුවාගේ උගුරේ හිරවෙලා තිබුණු මූඩිය ඉවත් කළත්, වෛද්‍යවරයා කිවුවා හැකි ඉක්මනින් කරාපිටිය රෝහලට ගෙනියන්න කියලා. 1990 ගිලන් රථය ගෙන්නුවත් ඒ අයට ගෙනියන්න බෑ කිවුව නිසා වෙනත් වාහනයක් හොයාගෙන දරුවා කරාපිටිය රෝහලට රැගෙන එනවිටත් සිහිය තිබුණේ නෑ” යැයි බෝතල් මූඩියක් උගුරේ සිරවීමෙන් පසු මියගිය මාස 09ක් වයසැති පිරිමි දරුවකුගේ මරණ පරීක්ෂණයේ දී සාක්කි දුන් මව කීවාය.
මෙලෙස මියගොස් ඇත්තේ හික්කඩුව, ගොඩවත්ත, මිල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි උඩුගම ලියන කංකානම්ගේ ලුෂේන් ආදිව් නමැති දරුවෙකි. මෙම දරුවාගේ මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය ගාල්ල ජාතික රෝහලේ දී පසුගිය 06 වැනි දා හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් පවත්වන ලදි. මියගිය දරුවාගේ මව වන මෝදර ආචාරිගේ දිල්කි යසාරා හංසිනී (22) මහත්මිය සාක්කි දෙමින් මෙසේ ද කීවාය.
“පසුගිය 05 වැනි දා සවස 2.30ට පමණ මේ සිද්ධිය වුණේ, මමත් දරුවාත් විතරයි ගෙදර හිටියේ, මහත්තයා රෙස්ටුරන්ට් එකේ වැඩට ගිහින් තිබුණා. මහත්තයාගේ තාත්තා ගෙදර එහා පැත්තේ ගඩොල් කපමින් හිටියා. මමත් පුතාත් ඇඳ උඩ හිටියේ. ළමයා ඇඳෙන් බැස්සා. වටේ තිෙයන බඩු අල්ලමින් එයා කණ්ණාඩි මේසේ ළඟට ගියා. මම බෙහෙත් ටික ගන්න සාලයට ගන්න ගියා. යන අතරේ පස්ස හැරිලා බැලුවා. බලන විට කටේ මොනවා හරි දාගෙන කියලා දැක්කා. මම ළඟට ඇවිත් බැලුවාම දැක්කා කණ්ණාඩි මේසේ උඩ තිබුණු සෙන්ට් කුප්පියේ මූඩිය කට ඇතුළේ තියෙනවා. මම අත දාලා ගන්න හැදුවා. පිටටත් තට්ටු කළා. ළමයාට කැස්සකුත් ආවා. එහෙම ම මූඩිය ඇතුළට ගියා වගේ මට දැනුණා. මම තාත්තාට කෑගහලා කතා කළා. එයත් දුවගෙන ආවා. පස්සේ උඩ ගෙදර අයියා මාවත් ළමයත් බයිසිකලේ තියාගෙන නාරිගම පුද්ගලික රෝහලට එක්කරගෙන ගියා. එතනින් මූඩිය ඉවත් කළා. ඒ අය කිවුවා ඉක්මනට රෝහලකට අරගෙන යන්න කියලා. අපි ඒ වෙලාවේ 1990 ගිලන් රථයකට කතා කළා. පැය භාගයකින් විතර එයාලා ඇවිත් කිවුවා පුද්ගලික රෝහලක ඉඳලා රෝගීන් අරගෙන යන්න එයාලට බෑ කියලා. ඒ නිසා වෙනත් වාහනයක් කතා කරගෙන එතැන හිටපු වෛද්‍යවරයෙක් සහ හෙදියක් සමඟ පුතාට ඔක්සිජන් දෙමින් ගාල්ල ජාතික රෝහලට රැගෙන ආවා.
කරාපිටියට රැගෙන එන කොට දරුවාට සිහිය තිබුණේ නෑ. ඒ වෙලාවෙම දැඩි සත්කාර ඒකකයට ඇතුළු කළා. රෝහලෙන් ඉක්මනට ප්‍රතිකාර කළා. ඒත් පසුව දා (06) උදේ 8.15ට විතර ළමයා නැති වුණා.”
මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ ලියාපදිංචි අධිකරණ වෛද්‍ය නිලධාරිනී එම්. මධුවන්ති ජයසිංහ මහත්මියගේ වාර්තාව සහ ඉදිරිපත් වූ සාක්ෂි සලකා බැලූ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා මරණය සිදුව ඇත්තේ සෙන්ට් කුප්පියේ පියන උගුරේ සිරවීම හේතුවෙන් හුස්ම හිරවීමෙන් බව නිගමනය කළේය.
කරාපිටිය සමූහ එස්. ලොකුකරවිට
✅✅✅✅✅✅✅✅✅✅✅✅✅