කතරගම වන්දනාවේ ගොස් ආපසු එන අතරතුර සිදුවූ රිය අනතුරකින් මාස 11ක් වයසැති බිලිඳකු ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම අනතුර සිදුව ඇත්තේ සැප්තැම්බර් 9 වන දින අලුයම 3.00 ට පමණ මාවතගම, මාරලන්ද ප්‍රදේශයේදී බව මාවතගම පොලීසිය පවසයි.
පිලැස්ස ආදාහනාගාරය අසලදී පිරිසක් ගමන් කළ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි පහන් කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. වාහනයේ ඉදිරිපස අසුනේ මවගේ තුරුලේ සිටි සිඟිති දරුවාට වාහනය ඇතුළත යමකින් හිසට වැදීමෙන් මෙම අවාසනාවන්ත ඉරණම සිදුව ඇති බවට පොලීසිය සඳහන් කරයි.
මියගොස් ඇත්තේ වළල්ලාවිට, කම්කානම්ගේ දිනිඳු විහංස නැමැති දරුවාය. ඔහුගේ පියා ගාල්ල, බූස්ස නාවික හමුදා කඳවුරේ සෙබළකු වන අතර, අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථය පදවා ඇත්තේ ඔහු බව පොලීසිය කියයි. අනතුරෙන් ඔහුගේ පාදයක අස්ථි බිඳී ඇති අතර, ඔහු මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.
වෑන් රථයේ ගමන් කළ තවත් කාන්තාවක් ද කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. රියදුරාට නින්ද යාම නිසා මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලීසිය සැක කරන අතර ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
කතරගම වන්දනාව සඳහා පවුලේ සාමාජිකයන් අට දෙනෙකු සහභාගී වී ඇති අතර, මියගිය දරුවාගේ මවගේ පියා වන මාතලේ පොලීසියේ සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු ද අනතුරින් තුවාල ලබා ඇත.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය මොහොමඩ් සිද්ධික් මහතා පැවසුවේ දරුවාගේ ගෙල ප්‍රදේශයේ සුෂුම්නාව බිඳී යාම සහ අභ්‍යන්තර ලේ ගැලීමක් නිසා මරණය සිදුව ඇති බවයි.
අනතුර සිදුවන විට වෑන් රථයේ සිටි පස් දෙනෙකු අතරමගදී බැස ගොස් ඇති අතර, ඉතිරි පිරිස සිය නිවසට යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ. අනතුර සිදුවන ස්ථානය ඔවුන්ගේ නිවසට විනාඩි පහක පමණ දුරකින් පිහිටි ස්ථානයකි. තුවාල ලැබූ උප පොලිස් පරීක්ෂකවරයා පවසා ඇත්තේ, මෙතරම් දුරක් ගෙවා නිවසට ආසන්නව අනතුර සිදුවීම කම්පනයට කරුණක් බවයි. ගමන අතරතුර වාහනය පැදවීමට පිරිමි තිදෙනෙකු මාරුවෙන් මාරුවට කටයුතු කර ඇති අතර, ගමන අවසන් කිරීමට තම බෑනා රිය පැදවූ බවත්, අනතුරින් සිය මුනුපුරාට ජීවිතය අහිමි වූ බවත් ඔහු සඳහන් කළේය.
✅✅✅✅✅✅✅✅✅✅
Redirecting in a moment...
Tags:
News