නවතම පුවත් වාර්තා අනුව, නේපාලයේ උග්‍ර විරෝධතා මධ්‍යයේ, විරෝධතාකරුවන්ට වෙඩි තැබීමට නියෝග කළ බවට චෝදනා ලැබූ පොලිස් අධිකාරීවරයකු (DSP) අරගලකරුවන් විසින් පහර දී මරා දමා තිබේ. මෙම සිද්ධියත් සමඟ නේපාලයේ තත්ත්වය වඩාත් භයානක මුහුණුවරක් ගෙන ඇත. අරගලකරුවන්ගේ විශ්වාසය වන්නේ 19 දෙනෙකුගේ මරණයට හේතු වූ වෙඩි තැබීමේ නියෝගය ලබා දුන්නේ මෙම නිලධාරියා බවයි.
කත්මණ්ඩුහි දල්ලු ප්‍රදේශයේ පිහිටි හිටපු අග්‍රාමාත්‍ය ජලනාත් ඛනල්ගේ නිවසට විරෝධතාකරුවන් විසින් ගිනි තබා ඇති අතර, එම අවස්ථාවේ නිවස තුළ සිටි ඔහුගේ බිරිඳ වූ රාජ්‍යලක්ෂ්මී චිත්‍රකාර් මහත්මිය බරපතල ලෙස පිළිස්සී කීර්තිපූර් බර්න් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වී ඇත. ඇයගේ ශරීරයේ බොහෝ කොටස් සහ පෙනහළු දරුණු ලෙස පිළිස්සී තිබූ බව පවුලේ සාමාජිකයන් ප්‍රකාශ කළේය.
නේපාලය පුරා පැතිර යන මෙම ප්‍රචණ්ඩකාරී විරෝධතා හේතුවෙන් අගනුවර වන කත්මණ්ඩු සහ ඒ අවට ප්‍රදේශවල ඇති වූ ගැටුම් සහ ගිනි තැබීම් වලින් මේ වන විට පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, 400 කට අධික පිරිසක් බරපතල තුවාල ලබා තිබේ. විරෝධතාකරුවන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ගිනි තබා ඇති අතර, අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා ඔලී, ජනාධිපති රාම් චන්ද්‍ර පෞඩෙල් සහ ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගේ පුද්ගලික නිවාස වලට ද පහර දී හානි කර ගිනි තබා ඇත.
මෙම තත්ත්වය හමුවේ ඉන්දියාවේ නවදිල්ලි නගරයේ පිහිටි නේපාල තානාපති කාර්යාලයේ ආරක්ෂාව ඉන්දීය රජය විසින් තර කර තිබේ. මෙම ආරක්ෂක වැඩිවීම සිදු කර ඇත්තේ නේපාලයේ දේශපාලන අස්ථාවරත්වය උග්‍ර වෙමින් පවතින පසුබිමකයි.
විපක්ෂයේ සිසුන්ගේ නායකත්වයෙන් පවත්වන මෙම විරෝධතාවලට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ සමාජ මාධ්‍ය තහනම සහ දූෂණය පිළිබඳ චෝදනා ය. අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා ඔලීගේ කාර්යාලයට කඩා වැදී සටන් පාඨ කියමින් විරෝධතා පැවැත්වූ විරෝධතාකරුවන් ඔහුගේ ඉල්ලා අස්වීම ඉල්ලා සිටි අතර, ඊට ප්‍රතිචාර වශයෙන් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්විය.
විරෝධතාකරුවන් විසින් මුදල් අමාත්‍ය විෂ්ණු ප්‍රසාද් පෞඩෙල්ට ද ප්‍රසිද්ධියේ පහර දී ඇති අතර, ඊට අදාළ වීඩියෝ සමාජ මාධ්‍යවල සංසරණය වේ. ඔහු බේරී යාමට උත්සාහ කළ අවස්ථාවේ පහර දී බිම දමා ඇති අතර, පසුව ඔහුට යළිත් පහර දී ඇත.
අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමට පැය කිහිපයකට පෙර විරෝධතාකරුවන් විසින් ඔහුගේ පුද්ගලික නිවසට ගිනි තබා ඇති අතර, හිටපු අග්‍රාමාත්‍ය පුෂ්ප කමල් දහල් , සන්නිවේදන අමාත්‍ය පෘථිවි සුබ්බා ගුරුන්ග්, සහ හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය රමේෂ් ලේඛක් ඇතුළු තවත් දේශපාලන නායකයන් කිහිප දෙනෙකුගේ නිවාස වලට ද පහර දී ඇත. සමාජ මාධ්‍ය වෙබ් අඩවි තහනම් කිරීමට නියෝග දුන් සන්නිවේදන අමාත්‍ය ගුරුන්ග්ගේ නිවසට ගල් ප්‍රහාර එල්ල කර තිබේ.
Redirecting in a moment...
Tags:
News