මහියංගණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වේවත්ත ග්‍රාම නිලධාරි වසමේ වේවත්ත ඇකිරියම්කුඹුර මාර්ගයේ ගමන් කළ යතුරුපැදියක් කඩපල්ල කුඩාඔය ආසන්නයේදී පෙරේදා (10) සවස 5ට පමණ වනඅලි ප්‍රහාරයකට ලක්ව එම යතුරුපැදියේ පිටුපස ගමන් කළ 48 හැවිරිදි තිදරු පියෙක් මියගොස් ඇති අතර යතුරුපැදිකරු ජීවිතය බේරාගෙන ඇතැයි මහියංගණ පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ රිදීමාලියද්ද ඇකිරියම්කුඹුර කලුගහකොලේයාය ප්‍රදේශයේ පදිංචි සිටිසේකර මුදියන්සේලාගේ අමරවීර නමැති (48) හැවිරිදි තිදරු පියෙකි.
මරණකරු තම වැඩිමල් පුත්‍රයා උදෑසන ශිෂ්‍යත්ව විභාගයට රැගෙන ගොස් අනතුරුව කඩපල්ල ප්‍රදේශයේ කුලී වැඩකට ගොස් ඇති අතර එම වැඩ අවසක් කර හිතවතකුගේ යතුරුපැදියකින් එම යතුරුපැදිකරු සමඟ තම තැලසීමියා රෝගයෙන් පෙළෙන 7 හැවිරිදි දියණියට බෙහෙත් ගැනීම සඳහා මුදල් අතමාරුවක් කරගැනීමට වේවත්ත කටුකුමන ප්‍රදේශයේ පුද්ගලයෙකු මුණගැසී ඔහුගෙන් රුපියල් 2500ක මුදලක් රැගෙන නැවත ඇකිරියම්කුඹුර දෙසට යමින් සිටියදී මෙසේ වනඅලියෙකුගේ ප්‍රහාරයට ලක්ව මියගොස් ඇත.
මරණකරුගේ බිරිය එච්.එම්. ශ්‍රියානි ඉන්ද්‍රලතා (39) –
“මහත්තයා උදේ පුතා ශිෂ්‍යත්ව විභාගෙට ගිහින් දාලා ඇවිල්ලා එයා වැඩකට ගියා වැඩට ගිහිල්ලා එයා එහා පැත්තේ ගමේ කෙනෙක්ගෙන් සල්ලි වගයක් ගන්න තියෙනවා කියලා වැඩේ ඉවර වෙලා ගියා. සල්ලි අරන් එද්දි තමයි අලියා ගහලා මේ කරදරය වෙලා තියෙන්නේ. මගේ මහත්තයා ගොවිතැන් කරන්නේ. කුලී වැඩවලටත් යනවා. මට වැඩක් කරන්න බැහැ. මගේ ස්නායු දුර්වල වෙලා. අතක් පණ නැහැ. මම ඒකට බෙහෙත් ගන්නවා. මගේ දුවත් තැලසීමියා රෝගියෙක්. එයාට මේ 19 වැනිදාට බෙහෙත් ගන්න යන්න ඕනි. මහත්තයා දුවට බෙහෙත් ගන්න යන්න තමයි සල්ලි හෙයන්න ගියේ.”
යතුරුපැදිකරු ඩී.එම්. නාමල් කුමාර (38) –
“අපි මගේ හේනේ මානම් ගලවා ගලව ඉඳලා වැඩ ඉවර වුණාම එයාට කෝල් එකක් ආවා එහා ගමේ කෙනෙක්ගෙන්. මට කිව්වා සල්ලි වගයක් ගන්න තියෙනවා. 2500ක් දෙනවා කිව්වා ඒක ගන්න යන් කියලා. මං කිව්වා මගේ බයික් එකට තෙල් බෝතලයක් ගහන්න අපි දෙන්නා ගිහින් එමු කියලා. අපි ගියා. ඒ යාළුවා එයාට රුපියල් 2500 දුන්නා. අපි සල්ලි අරගෙන එද්දි දකුණ පැත්තේ තමයි අලියා හිටියේ. අලියා එකපාරටම කෑගහගෙන ආවා. ඇවිත් ඔළුවෙන් බයික් එකේ මූණට ගැහැව්වා ඉස්සෙල්ලාම. ඊට පස්සේ මාව විසිවුණා. විසිවුණාට පස්සේ අලියා කැලේ පැත්තට කෑගහගෙන දුවන්න ගත්තා. පස්සේ මම නැඟිට්ටා. නැඟිටලා අමරේ මාමා, අමරේ මාමා අලියා ගියා නැඟිටපන්, නැඟිටපන් කියාලා කතා කළා. නැඟිටින්නේ නැති පාර ළංවෙලා බැලුවා. ඊට පස්සේ ඔළුවෙන් ලේ ගලාගෙන යන්න පටන් ගත්තා. මට බය හිතුණා, මම පාර දිගේ දිව්වා. අප්පු අයියා කියලා අයියා කෙනෙක් හම්බවුණා. මඟදි මම අප්පු අයියාට කිව්වා අමරේ මාමාට අලියෙක් ගැහැව්වා කියාලා. ඊට පස්සේ අප්පු අයියයි, මායි, තව කෙනෙකුයි ආවා. අප්පු අයියා ඇවිත් බලලා කිව්වා ඔළුවයි, තුනටියයි දෙකම පාගලා තියෙන්නේ. අමරේ අයියා මැරිලා ඉන්නේ. ආයෙ කෑගහලා වැඩක් නැහැ නාමල් ගමට කතා කරන්න කියලා. ඊට පස්සේ මං යාළුවොන්ට කතා කරලා කිව්වා අමරේ මාමට අලියෙක් ගහලා මැරිලා ඉන්නේ ගෙවල්වලට කියන්න කියලා.”
මේ ගම්මාන හරහා අලි කොරිඩෝවක් ඉදිකිරීමට යෝජනා කර තිබුණද මේ වෙනකම් මැනුම් කටයුතු පමණක් සිදුකර ඇති බවත්, අලි කොරිඩෝවට ඇතැම් පුද්ගලයින්ගේ බලපෑම් නිසා නතර කර ඇති බවත්, අලි කොරිඩෝව හැකි ඉක්මනින් ඉදිකර මෙම අලි – මිනිස් ගැටුමට විසඳුමක් ලබා දෙන්නැයි ප්‍රදේශවාසීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
බදුල්ල දකුණ සමූහ
විමුක්ති සංජය පෙරේරා
Dinamina News
